මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තීරණාත්මක කොටසක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වූ කිලෝමීටර් 58.6 ක දිගින් යුත් සිව්වන අදියර (Phase IV) ඉදිකිරීම කඩිනම් කිරීමට අද (04) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. මෙම ව්‍යාපෘතියේ සමස්ත ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මෙම කොටස ඉදිකිරීම අත්‍යවශ්‍ය බව රජය හඳුනාගෙන ඇති අතර, මේ වන විටත් එහි ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතුවලින් 73.3% ක් අවසන්ව පවතී. ඉතිරි ඉඩම් සඳහා වන්දි ගෙවීම් කටයුතු සිදු කරමින් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී තාක්ෂණික සහ පාරිසරික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගැනීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව භූ තාක්ෂණිකව සංවේදී ප්‍රදේශ සහ නායයෑම් අවදානම් තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මඟින් සිදු කිරීමට නියමිතය. එමෙන්ම මාර්ගය වැටී ඇති ප්‍රදේශවල ජල මාර්ග හරහා සිදුවන ගලායාම් කළමනාකරණය සහ ගංවතුර අවදානම් තක්සේරු කිරීමේ වගකීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත පවරා ඇත. මුදල් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීමට යෝග්‍ය මූල්‍ය ප්‍රභවයන් හඳුනාගෙන ප්‍රතිපාදන වෙන් කිරීමට ද නියමිතයි.














