ගෝලීය අස්ථාවරත්වය හමුවේ දේශීය ආර්ථිකයට සහ ජන ජීවිතයට එල්ල වන බලපෑම් අවම කරමින් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා විශේෂ අධීක්ෂණ කමිටු හතරක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව මගින් බලශක්තිය, රාජ්‍ය සේවය, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ සුබසාධනය යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. මෙම කමිටුවල මූලික වගකීම වන්නේ පවතින අර්බුදකාරී තත්ත්වයන් කළමනාකරණය කරමින් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය නිර්දේශ කඩිනමින් ඉදිරිපත් කිරීමයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් බලශක්ති කමිටුව මගින් ඉන්ධන, ගෑස් සහ ගල් අඟුරු සැපයුම ස්ථාවරව පවත්වා ගැනීමට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු සහ නව සැපයුම් මූලාශ්‍ර හඳුනා ගැනීම සිදු කරනු ලබයි. අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවා කමිටුව මගින් මහජන සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගැනීමට තීරණ ගන්නා අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා යටතේ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම් අධීක්ෂණ කමිටුව මගින් වෙළෙඳපොළේ භාණ්ඩ හිඟයක් ඇතිවීම වැළැක්වීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් සුබසාධන කමිටුව මගින් ජන ජීවිතයට එල්ල වන ගැටලු හඳුනාගෙන කඩිනම් සහන සැලසීමට කටයුතු කිරීමට නියමිතය.














