මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවල් කිසිසේත්ම එහි වින්දිතයන් හෝ අතරමැදියන් බවට පත් නොවිය යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ, පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය ජනතාව, පාසල් දරුවන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු සියලු පාර්ශවයන්ට සිදුවන ජීවිත හානි පිළිබඳව රජය දැඩි කණගාටුව පළ කරන බවයි. දෙවන ලෝක යුද්ධයෙන් පසු ජාත්‍යන්තර සාමය සුරැකීමට පිහිටුවා ඇති ආයතනවල සාමාජිකයෙකු ලෙස, මෙම යුද ගින්න නිවා දැමීමට ඇති වගකීම ඉටු කරන ලෙස ශ්‍රී ලංකාව එම ආයතනවලින් ඉල්ලා සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යුද්ධය හුදෙක් එක් භූගෝලීය සීමාවකට පමණක් සීමා නොවී ලෝක ආර්ථිකයටම තර්ජනයක් වී ඇති බවත්, මැදපෙරදිග වෙසෙන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. රජයේ ස්ථාවරය හෝ ප්‍රතිපත්ති වෙනස් වී ඇත්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් සාමාන්‍ය ජනතාව යුද්ධයට බිලි දීම රජය අනුමත නොකරන බවයි. ඕනෑම පාර්ශවයක ඉල්ලීමක් මත හෝ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී මෙම ගැටුම් නතර කිරීමට ශ්‍රී ලංකාව උපරිම උත්සාහයක් දරන බවත්, ප්‍රචණ්ඩත්වය වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් සෙවිය යුතු බවත් රජයේ ස්ථාවරය බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.















