රාජ්‍ය සේවය වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාම සඳහා පත් කරන ලද අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ දෙවන රැස්වීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මහජනතාවට රජයේ සේවාවන් බාධාවකින් තොරව ලබාදීම සහ රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ගැටලු මඟහරවා ගැනීමට ගත යුතු කඩිනම් පියවර පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම රාජ්‍ය පරිපාලන, සෞඛ්‍ය, අධ්‍යාපන සහ අධිකරණ යන අමාත්‍යාංශවල සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කළ යුතු බවත්, ඒ අනුව රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ සැපයීම සහ නියමිත පරිදි විභාග පැවැත්වීම සහතික කිරීමටත් මෙහිදී තීරණය විය.
මීට අමතරව, මගී ප්‍රවාහන සේවා සහ දුම්රිය පද්ධතියේ පවතින අභියෝග මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද කමිටුවේ අවධානය යොමු විය. රාජ්‍ය සේවාවන් වඩාත් වේගවත් කිරීම සඳහා ඩිජිටල් සේවා පද්ධති හඳුන්වා දීමටත්, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ එම කටයුතු අධීක්ෂණය කිරීමටත් මෙහිදී යෝජනා විය. සියලුම අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල බලශක්ති කළමනාකරණ කටයුතු පිළිබඳ සොයා බලා අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කිරීමට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරිය, රාජ්‍ය සේවය නවීකරණය කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නාය. මෙම අවස්ථාවට අමාත්‍ය ඒ. එච්. එම්. එම්. එච්. අබයරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.














