මධ්‍යම කඳුකරයට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කැසල්රී සහ මවුස්සාකැලේ යන ප්‍රධාන ජලාශ දෙකෙහි ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ජලාශ භාර නිලධාරීන් පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින මෙම වියළි වාතාවරණය හේතුවෙන් ජලාශවලට ජලය ගලා එන ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.
අද (25) උදෑසන වන විට වාර්තා වූ දත්තවලට අනුව, කැසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 39කුත් අඟල් 05ක් දක්වා පහළ බැස ඇත. එසේම මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ද පිටාර මට්ටමේ සිට අඩි 17කුත් අඟල් 10ක් දක්වා පහළ ගොස් තිබේ.
වියළි කාලගුණයට අමතරව, ජලාශ අවට ප්‍රදේශවල මිනිසුන් විසින් සිදුකරන ලැව්ගිනි හේතුවෙන් ජලාශ පෝෂණය කරන දිය කඩිට් සහ ජල මූලාශ්‍ර රැසක් විනාශ වී ඇති බව නිලධාරීන් පෙන්වා දෙයි. මෙය ජල මට්ටම වේගයෙන් පහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත. කෙසේ වෙතත්, ජල මට්ටම මෙලෙස අඩු මට්ටමක පැවතියද, විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අදාළ ජලවිදුලි බලාගාර වෙත ජලය මුදා හැරීමට උපරිම උත්සාහයක් දරන බව ද එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කරති.













