ශ්‍රී ලංකාවේ 15 වන ජන හා නිවාස සංගණනය 2024 වසරේදී පවත්වා ඇති අතර, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් එහි අවසාන වාර්තාව අද (අප්‍රේල් 10) ප්‍රකාශයට පත් කරන ලදී. එම වාර්තාවට අනුව මෙරට ජනගහනය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ රැකියා ක්ෂේත්‍රවල කැපී පෙනෙන වෙනස්කම් රැසක් සිදුව ඇති බව අනාවරණය වේ.
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වී ඇති අතර ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 350කි. දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ජනගහනය ගම්පහ දිස්ත්‍රික්කයෙන් (2,436,142) වාර්තා වන අතර අඩුම ජනගහනය මුලතිව් දිස්ත්‍රික්කයෙන් (122,619) වාර්තා වේ. වයස අවුරුදු 60ට වැඩි ජනගහනය 18%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ළමා ජනගහන ප්‍රතිශතය 20.7%ක් දක්වා අඩු වී තිබේ. මධ්‍යස්ථ වයස අවුරුදු 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, කිසි දිනෙක විවාහ නොවූවන්ගේ ප්‍රතිශතය 41.8%ක් දක්වා සැලකිය යුතු ලෙස වැඩි වී ඇත
සිංහල ජනගහනය මුළු ජනගහනයෙන් 74.12%ක් (16,144,037) ලෙස වාර්තා වන අතර, ශ්‍රී ලංකා දෙමළ 12.31%ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් ජනගහනය 10.47%ක් ලෙස සඳහන් වේ. ආගමික වශයෙන් බෞද්ධ 69.8%, හින්දු 12.6%, ඉස්ලාම් 10.7%, රෝමානු කතෝලික 5.6% සහ අනෙකුත් ක්‍රිස්තියානි 1.3%ක් ලෙස වාර්තා වී තිබේ.
2012 වසරට වඩා මෙරට අධ්‍යාපන මට්ටම ඉහළ ගොස් ඇති අතර, තෘතියික අධ්‍යාපනය ලැබූවන්ගේ ප්‍රතිශතය 18.2% සිට 26.2% දක්වා ඉහළ ගොස් ඇත. මෙහිදී පුරුෂයින්ට වඩා කාන්තාවන් ඉදිරියෙන් සිටීම විශේෂත්වයකි. ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් වැනි ඉහළ අගයක් ගන්නා අතර අවුරුදු 15-19 වයස් කාණ්ඩය එහි ඉදිරියෙන්ම සිටියි.
මෙරට මුළු නිවාස සංඛ්‍යාව 6,030,541ක් වන අතර නිවාසවලින් 98%කට ජාතික විදුලිබල පද්ධතිය හරහා විදුලිය ලබා දී ඇත. නිවාස ඒකකවලින් 10.5%ක් තනි පුද්ගල නිවාස ලෙස වාර්තා වන අතර ඉන් බහුතරයක් වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ය (ඉන් 71.3%ක් කාන්තාවන්ය). ගෘහ ඒකකවලින් 93.8%කට ජංගම දුරකථන පහසුකම් පවතින බව ද වාර්තාවේ සඳහන් වේ.
මුළු ජනගහනයෙන් 19.2%ක් බෝ නොවන රෝගවලින් පීඩා විඳින අතර අධි රුධිර පීඩනය සහ දියවැඩියාව ඉන් ප්‍රධාන වේ. ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 47.3%ක් වන අතර එහිදී කාන්තා සහභාගීත්වය 28.9%ක් වැනි අවම මට්ටමක පවතී. සමස්ත විරැකියා අනුපාතය 6%ක් ලෙස වාර්තා වන අතර වැඩිම විරැකියාව වාර්තා වන්නේ වයස අවුරුදු 20-24 අතර තරුණ කාණ්ඩයෙනි. මීට අමතරව තාවකාලිකව විදේශගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 672,249ක් ලෙස වාර්තා වී ඇත.














