ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2024 වසරේ පවත්වන ලද නිවාස හා ජන සංගණනයට අදාළ නවතම දත්ත වාර්තා නිකුත් කර තිබේ. එම වාර්තාවට අනුව මෙරට සමාජීය සහ ජනගහන ව්‍යුහයේ කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් හඳුනාගත හැකිය.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21,781,800ක් ලෙස වාර්තා වන අතර ඉන් 41.8%ක්ම අවිවාහක පුද්ගලයින් වේ. පුද්ගලයන් විවාහ වන වයස් සීමාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, පුරුෂයන් සඳහා එය සාමාන්‍යයෙන් අවුරුදු 29.2ක් සහ කාන්තාවන් සඳහා අවුරුදු 25.6ක් ලෙස සටහන් වේ. මීට අමතරව දරු උපත් සංඛ්‍යාව ද විශාල ලෙස පහත වැටී ඇති බව නිරීක්ෂණය වේ.
මෙරට සමස්ත ජනගහනයෙන් 18%ක් වියපත් ජනගහනය ලෙස හඳුනාගෙන ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්වමින් සාක්ෂරතාව 97.4% දක්වා ඉහළ ගොස් තිබේ. මෙය 2012 වසරේ පැවති 95.7%ක අගය සමඟ සැසඳීමේදී වර්ධනයකි.
තාක්ෂණික අංශය සැලකීමේදී මෙරට ඩිජිටල් සාක්ෂරතාව 67.6%ක් වන අතර පරිගණක සාක්ෂරතාව 34.7%කි. විශේෂයෙන්ම වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් 15%ක් ඩිජිටල් සාක්ෂරතාවයෙන් යුක්ත වීම විශේෂත්වයකි.














