තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන “2050 දී ආසියාව” (Asia in 2050) ජාත්‍යන්තර සමුළුවට සමගාමීව පැවැත්වෙන ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා සහභාගී වීමට නියමිතය. ලබන සිකුරාදා (මාර්තු 06) පස්වරුවේ පැවැත්වෙන මෙම සාකච්ඡාව නම් කර ඇත්තේ “සියල්ල එකට එක් කිරීම – ආසියාවේ අනාගත ප්‍රතිපත්තිමය අභියෝග” (Bringing Everything Together – Policy Challenges for Asia Going Forward) යන තේමාව යටතේය. මෙය කලාපීය ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන දායකත්වය ජාත්‍යන්තරව ඇගයීමට ලක්වන අවස්ථාවකි.
මෙම සුවිශේෂී සාකච්ඡා වාරය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා (Kristalina Georgieva) මහත්මිය ද එක්වන අතර, මැලේසියාවේ මුදල් අමාත්‍ය අමීර් හම්සා අසීසාන් සහ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය ඒක්නිටි නිතිතන්ප්‍රපාස් යන මහත්වරුන් ද ඊට සහභාගී වෙති. බ්ලූම්බර්ග් පුවත් සේවයේ හස්ලින්ඩා අමීන් විසින් මෙහෙයවනු ලබන මෙම සාකච්ඡාවේදී ආසියානු කලාපයේ දිගුකාලීන ආර්ථික වර්ධනය සහ නැගී එන අභියෝග පිළිබඳව ගැඹුරින් විමසා බැලීමට නියමිතය.
මාර්තු 04 සිට 06 දක්වා පැවැත්වෙන මෙම සමුළුව 2026 වසරේ ඔක්තෝබර් මාසයේදී බැංකොක්හි පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීමට පෙර සූදානමක් ලෙස සංවිධානය කර ඇත. මෙහිදී කලාපීය ප්‍රතිපත්ති සම්පාදකයන්, විශේෂඥයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් එක්ව ආසියාවේ අනාගත අවස්ථා, අවදානම් සහ නව්‍ය චින්තනය පිළිබඳව අදහස් හුවමාරු කර ගනිති. ලෝක ආර්ථික දැක්ම, මූල්‍ය ස්ථාවරත්වය, දරිද්‍රතාවය පිටුදැකීම සහ රැකියා උත්පාදනය වැනි ගෝලීය කරුණු මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් වේ.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් මිදී ස්ථාවරත්වය කරා යන ගමනේදී ලබාගත් අත්දැකීම් අනෙකුත් ආසියානු රටවලට ආදර්ශයක් ලෙස ඉදිරිපත් කිරීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙමගින් අවස්ථාව සැලසේ. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ආසියානු කලාපයේ ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව (Resilience) වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වනු ඇත.












