ශ්‍රී ලංකාවේ දේශගුණික අභියෝග ජයගනිමින් ඔරොත්තු දෙන අනාගතයක් ගොඩනැගීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ රාජ්‍ය ප්‍රතිපත්ති අතර පවතින පරතරය වහාම අවම කළ යුතු බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (මාර්තු 12) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතනයේ (IEPSL) 20 වැනි සංවත්සර සැමරුම් උළෙල සහ “EcoConvergence 2026” වාර්ෂික සැසිය අමතමිනි.
“දේශගුණික ඔරොත්තු දෙන අනාගතයක් සඳහා දැනුම ක්‍රියාවට නැංවීම” (Knowledge to Action for a Climate-Resilient Future) යන තේමාව යටතේ පැවැත්වුණු මෙම උළෙලේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගංවතුර, නියඟය සහ ජෛව විවිධත්වය විනාශ වීම වැනි වර්ධනය වන පාරිසරික අභියෝග හමුවේ විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ සැලසුම්කරුවන් වැනි වෘත්තිකයන්ගේ සෘජු දායකත්වය රටට අත්‍යවශ්‍ය බවයි. පර්යේෂණ මට්ටමින් පවතින දැනුම ප්‍රායෝගිකව ප්‍රතිපත්ති සම්පාදනය සඳහා යොදා ගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී විස්තර කළේය.
මෙම අවස්ථාවට පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල මහතා ඇතුළු පරිසර ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වී සිටියහ. දශක දෙකක කාලයක් තිස්සේ පරිසර වෘත්තිකයන්ගේ වෘත්තීය ගෞරවය සුරකිමින් සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් IEPSL ආයතනය ඉටුකළ මෙහෙවර ද මෙහිදී අගය කෙරුණු අතර, ඉදිරි දේශගුණික අර්බුද හමුවේ වෘත්තිකයන්ගේ වගකීම තවදුරටත් පුළුල් විය යුතු බව සාකච්ඡා විය.


















