ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන පිරිවැය ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන කරුණක් වන්නේ මෙරටට ආනයනය කරන ගල්අඟුරු වල පවතින ගුණාත්මක භාවය පිළිබඳ ගැටලු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී ඉවාන් පපජෝර්ජියෝ (Evan Papageorgiou) මහතා ප්‍රකාශ කළේය. කොළඹදී ඊයේ (අප්‍රේල් 09) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පෙන්වා දුන්නේ, බාල ප්‍රමිතියෙන් යුත් ගල්අඟුරු මිලදී ගැනීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් ඇති අතර එමඟින් කාර්යක්ෂමව විදුලිය උත්පාදනය කිරීමට ඇති හැකියාව ද අඩු වී ඇති බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් (Unbundling) පසු බිහිවන විදුලි උත්පාදන සමාගම් සහ අනෙකුත් ආයතන ඉතා පැහැදිලි මෙහෙයුම් රාමුවක් තුළ ක්‍රියාත්මක විය යුතු බව ඔහු අවධාරණය කළේය. විශේෂයෙන්ම ගල්අඟුරු වැනි අත්‍යවශ්‍ය යෙදවුම් ලබා ගැනීමේදී විධිමත් ඉන්ධන සැපයුම් ගිවිසුම් (Structured fuel supply agreements) තිබීම අතිශය වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
ගල්අඟුරු හෝ වෙනත් අමුද්‍රව්‍යවල ගුණාත්මක භාවය පිළිබඳව අනාගතයේදී යම් ගැටලුවක් මතු වුවහොත්, ඒවා විසඳීම සඳහා නිසි යාන්ත්‍රණයක් සහ වගවීමක් සහිත ක්‍රමවේදයක් පද්ධතිය තුළ තිබිය යුතු බව පපජෝර්ජියෝ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙවැනි විධිමත් පියවරක් අනුගමනය කිරීමෙන් විදුලි ගාස්තු තවදුරටත් ඉහළ යාම පාලනය කර ගැනීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය ඇති කිරීමටත් හැකි වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විශ්වාසය පළ කරයි.














