ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක අවම උෂ්ණත්වයේ කැපී පෙනෙන වෙනසක් අද (මාර්තු 25) වාර්තා වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වසරේ වාර්තා වූ අවම උෂ්ණත්ව අගයක් ලෙස සෙල්සියස් අංශක 7.8ක අගයක් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මෙලෙස දැඩි සිසිල් කාලගුණයක් පවතින අතර බණ්ඩාරවෙල සෙල්සියස් අංශක 14.0ක්, බදුල්ල සෙල්සියස් අංශක 17.5ක් සහ කටුගස්තොට ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 19.7ක අවම උෂ්ණත්ව අගයන් වාර්තා වී තිබේ.
කඳුකරයේ පවතින මෙම තත්ත්වයට සාපේක්ෂව වෙරළබඩ සහ උතුරු දිස්ත්‍රික්කවල උණුසුම් කාලගුණයක් පවතින අතර මුලතිව් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 27.4ක උපරිම අගයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ සෙල්සියස් අංශක 26.2ක් සහ ගාල්ල සෙල්සියස් අංශක 25.9ක් ලෙස උෂ්ණත්ව අගයන් වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ ද කඳුකර ප්‍රදේශවල උදෑසන කාලයේදී මෙලෙස උෂ්ණත්වය තවදුරටත් පහළ යා හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.













