කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (26) දින අවසානයේදී ප්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන පහත වැටීමක් වාර්තා කරමින් අතිශය අස්ථාවර ස්වභාවයක් පෙන්නුම් කළේය. දිනය පුරාම දක්නට ලැබුණු මෙම ඍණාත්මක ප්‍රවණතාව හේතුවෙන් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 448.91කින් පහත වැටී ඒකක 21,419.94ක් ලෙස සටහන් වූ අතර, එය පෙර දිනට සාපේක්ෂව සියයට 2.05ක සැලකිය යුතු පසුබෑමකි. මෙරට ප්‍රමුඛතම සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 91.20කින් (1.49%) පහත වැටී ඒකක 6,043.03ක් දක්වා අඩු විය.
අද දින වෙළෙඳපොළ දත්තවලට අනුව රුපියල් බිලියන 3.26ක දෛනික පිරිවැටුමක් වාර්තා වූ අතර, සමස්ත ගනුදෙනු සංඛ්‍යාව 29,787ක් ලෙස සටහන් විය. උදෑසන ගනුදෙනු ආරම්භයේ සිටම දර්ශකයන්ගේ වේගවත් පහත වැටීමක් නිරීක්ෂණය වූ අතර, දහවල් කාලය වන විට වෙළෙඳපොළ යම් ස්ථාවර මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කළ ද දවස අවසානය දක්වාම එම පසුබෑම යථා තත්ත්වයට පත් කර ගැනීමට වෙළෙඳපොළ සමත් වූයේ නැත. මැදපෙරදිග යුදමය වාතාවරණය සහ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාව මෙම හදිසි කඩා වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














