ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල ගණන් සහ ප්‍රවාහන පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී සිටින බව ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමයේ (SLCA) සභාපති සුසන්ත ලියනආරච්චි මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ යකඩ ටොන් එකක මිල රුපියල් 18,000කින් පමණ ඉහළ ගොස් ඇති අතර රුපියල් 8,600ක පැවති ගල් කියුබ් එකක මිල ප්‍රවාහන ගාස්තු ද සමඟ රුපියල් 11,000 දක්වා වැඩි වී ඇති බවයි. එසේම දැනට රුපියල් 37,500ක පමණ මිලකට අලෙවි වන වැලි කියුබ් එකක මිල ඉදිරි දිනවලදී රුපියල් 46,000 දක්වා ඉහළ යා හැකි බවට ද ඔහු අනතුරු අඟවයි. ඉන්ධන මිල ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇති අතර මිල පාලනය සඳහා රජය නිසි මැදිහත්වීමක් සිදු නොකිරීම ක්ෂේත්‍රයේ කඩා වැටීමට සෘජුවම බලපාන බව සභාපතිවරයා පවසයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ශ්‍රී ලංකාව සියයට 36ක දැවැන්ත මිල වැඩි කිරීමක් සිදුකර ඇති අතර එය ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි සෙසු රටවලට වඩා ඉතා ඉහළ අගයකි. මෙම මිල ඉහළ දැමීම මැදපෙරදිග යුද වාතාවරණය නිසාම සිදු වූවක් නොව බාල වර්ගයේ ගල්අඟුරු ආනයනයෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට ගත් පියවරක් බවට ද ඔහු චෝදනා කරයි. විශාල පිරිසකට රැකියා සහ ආදායම් මාර්ග සපයන ඉදිකිරීම් ක්ෂේත්‍රය මෙලෙස අඩපණ වීම මෙරට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) දැඩි බලපෑමක් එල්ල කරන බවත් මේ සම්බන්ධයෙන් රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවත් ලියනආරච්චි මහතා වැඩිදුරටත් සඳහන් කරයි.












