වැඩතහනමට ලක්ව සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන ජුනි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (27) නියෝග කළේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
මෙහිදී විශේෂත්වයක් වූයේ මින් පෙර අවස්ථාවලදී කතානායකවරයා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද, ඊයේ දින කතානායකවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු ලෙස ජනාධිපති නීතිඥ කනග්-ඊශ්වරන් මහතා පෙනී සිටීමයි. මෙම නඩුව සම්බන්ධයෙන් කිසිදු සමථයකට එළඹීමේ සූදානමක් නොමැති බව කතානායකවරයා වෙනුවෙන් අධිකරණයට දැනුම් දෙන ලදී.
මේ අතර, අමාත්‍ය බිමල් රත්නායක සහ අමාත්‍ය අනිල් ජයන්ත යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නයිජල් හැච් මහතා මෙම නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණයට ඇති බලය (Jurisdiction) සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් මතු කරන බව යළිත් අවධාරණය කළේය. පාර්ලිමේන්තු මහලේකම්වරිය සහ සහකාර මහලේකම්වරයා වෙනුවෙන් ද ජනාධිපති නීතිඥවරුන් පෙනී සිටි අතර, ඉදිරි දින නඩුව කරුණු තහවුරු කිරීම සඳහා නියම කෙරිණි.














