මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුමට බාධා එල්ල වුවහොත්, විකල්ප පියවරක් ලෙස අමෙරිකා එක්සත් ජනපදයෙන් සහ නයිජීරියාවෙන් බොරතෙල් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CPC) සභාපති ජනක රාජකරුණා මහතා අද (02) ප්‍රකාශ කළේය.
අමෙරිකාවෙන් සහ නයිජීරියාවෙන් ගෙන්වනු ලබන බොරතෙල් වර්ග සපුගස්කන්ද පිරිපහදුව තුළ පිරිපහදු කිරීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විටත් තාක්ෂණිකව තහවුරු කරගෙන ඇත. එම නිසා මැදපෙරදිගින් බොරතෙල් ලැබීම ප්‍රමාද වුවද, මෙරට පිරිපහදු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබේ.
යුද වාතාවරණය හමුවේ ඉන්ධන හිඟයක් ඇති වේ යැයි ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බවත්, අවශ්‍ය තරම් ඉන්ධන සංචිත පවතින බවත් සභාපතිවරයා යළිත් සහතික විය. ජනතාව අනවශ්‍ය ලෙස පෝලිම් ගැසීමෙන් වළකින ලෙසත්, කලබල වී ඉන්ධන රැස් කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.














