‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව සහ ඒ ආශ්‍රිත ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන්ගේ ණය තොරතුරු වාර්තා කිරීමේදී විශේෂ සහන කාලසීමාවක් ලබාදීමට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (CRIB) පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදෙස් පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ, ආපදා හේතුවෙන් ණය වාරික ගෙවීමට නොහැකි වූ පාර්ශවයන්ගේ ණය වාර්තාවලට (Credit Profile) ඉන් සිදුවන බලපෑම වැළැක්වීම අරමුණු කෙරේ. මාස හයක උපරිම කාලසීමාවකට යටත්ව මෙම සහනය හිමිවන අතර, ආපදා හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් පැහැර හැරීම් ලෙස වර්ගීකරණය නොකරන ලෙස මූල්‍ය ආයතන වෙත උපදෙස් දී ඇත.
ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ සාමාන්‍ය අධිකාරී පුෂ්පික ජයසුන්දර මහතා පවසන්නේ, ආපදාවට ලක්වූ ව්‍යාපාර යළි ආරම්භ කිරීම සඳහා ලබාගන්නා නව ණය පහසුකම් ද විශේෂිත වර්ගීකරණයක් යටතේ වාර්තා කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙමඟින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ අවදානමට ලක්වූ පවුල්වලට ඉදිරියේදී මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී ඇතිවිය හැකි බාධාවන් ඉවත් වේ. 2026 මාර්තු 01 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම සහන ක්‍රමය ක්‍රියාත්මක වන අතර, සහන කාලසීමාවෙන් පසුවද ණය පැහැර හරින පුද්ගලයන් සඳහා සාමාන්‍ය නීති රීති ඒ අයුරින්ම බලපැවැත්වෙන බව කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.














