දකුණු ඉන්දියාව සඳහා වන ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජනරාල් ගනේෂනාදන් කේතීස්වරන් මහතා පුදුචේරි ප්‍රාන්තයේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත් වී ඇති බවට සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුව (AICC) චෝදනා කර තිබෙනවා.
සමස්ත ඉන්දීය කොංග්‍රස් කමිටුවේ මාධ්‍ය සහ ප්‍රචාරක අංශයේ සභාපති පවන් කේරා මහතා පෙන්වා දෙන්නේ ලචියා ජනනායක කච්චි (LJK) පක්ෂයේ ප්‍රධානී ජෝස් චාල්ස් මාටින්ගේ ආරාධනයකට අනුව කේතීස්වරන් මහතා එරට ධීවර ජනතාව සමඟ පැවති හමුවකට සහභාගී වී ඇති බවයි. මෙම අවස්ථාවට භාරතීය ජනතා පක්ෂයේ (BJP) පුදුචේරි සභාපති සහ රාජ් භවන් මැතිවරණ කොට්ඨාසයේ අපේක්ෂක වී. පී. රාමලින්ගම් මහතාද සහභාගී වී තිබෙනවා. විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සත්කාරක රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවට 1961 වියානා සම්මුතියේ සඳහන් වන අතර, මෙම සහභාගීත්වය එම සම්මුතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බව පවන් කේරා මහතා සිය ‘X’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා. මේ සම්බන්ධයෙන් ඉන්දීය මැතිවරණ කොමිසම සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන්නේද යන්න පිළිබඳවද ඔහු ප්‍රශ්න කර තිබෙනවා.














