එළඹෙන අප්‍රේල් මස 07 වනදා මෙරටට පැමිණීමට නියමිත ඩීසල් නැවෙහි මිල ගණන් අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 550ත් 600ත් අතර අගයකට අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනතුරු අඟවයි. සිංගප්පූරුවේ ‘Aditya Birla’ සමාගම වෙත ලබා දී ඇති නව ටෙන්ඩරය යටතේ ගෙන්වන ඩීසල් බැරල් 280,000ක ප්‍රීමියම් (Premium) ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 45.64ක් දක්වා ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා, රජයේ අක්‍රමවත් වැඩපිළිවෙළ හේතුවෙන් ජනතාවට යළිත් තෙල් පෝලිම්වල ලතැවීමට සිදුව ඇති බව ද අවධාරණය කළේය. මීට අමතරව පෙට්‍රල් 92 බැරල් ලක්ෂ තුනක් සඳහා ඩොලර් 18.62ක ප්‍රීමියම් ගාස්තුවක් ද, අප්‍රේල් 12 වනදා පැමිණීමට නියමිත දැවිතෙල් බැරල් 3,000ක් සඳහා ඩොලර් 166ක දැවැන්ත ප්‍රීමියම් ගාස්තුවක් ද ගෙවීමට රජයට සිදුව තිබේ.
මිල ඉහළ යාම පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක නිරත වූ දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, 2022 ජූනි මාසයේදී ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 30-34 අතර පැවති සමයේ ඩීසල් ලීටරයක් රුපියල් 470කට අලෙවි කළ බවයි. එහෙත් වර්තමාන ටෙන්ඩරය අනුව ප්‍රීමියම් ගාස්තුව ඩොලර් 45 ඉක්මවා ඇති බැවින්, ඩීසල් මිල රුපියල් 600 සීමාවට පැමිණීම වැළැක්විය නොහැකි බව ඔහුගේ අදහසයි. මේ තත්ත්වය හමුවේ ජනතාවට සහනයක් ලෙස තෙල් මිල රුපියල් 50කින් වහාම අඩු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.
තෙල් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ගෙවීමට ඇති රුපියල් බිලියන 1200ක ණය මුදල පියවීම සඳහා පනවා ඇති බදු මුදල් අයකර ගැනීම තාවකාලිකව කල් දමන ලෙස මන්ත්‍රීවරයා මෙහිදී යෝජනා කළේය. 2029 වසර දක්වා ගෙවීමට නියමිත මෙම ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 656ක් දක්වා අඩු වී ඇති බැවින්, එම ණය පියවීමේ කාලය මාසයකින් පමණ කල් දමා එමගින් ඉතිරි වන මුදලින් ජනතාවට සහන ලබා දිය හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අප්‍රේල් 07 වැනිදායින් පසු ඩීසල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට පෙර රජය මැදිහත් වී ජනතාවට සහනයක් ලබා දිය යුතු බව දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේය.














