ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා විශේෂ “හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධති අධ්‍යක්ෂ කාර්යාලයක්” (Directorate of Accident and Emergency Care System) පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මාර්ග අනතුරු, හදිසි හෘදයාබාධ සහ ආඝාත තත්ත්වයන් (Stroke) හේතුවෙන් රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇත.
දැනට පවතින සීමිත හදිසි සෞඛ්‍ය සේවාවන් ඒකාබද්ධ කරමින්, ප්‍රමිතිගත ව්‍යූහයක් යටතේ මෙහෙයවීම මෙම නව කාර්යාලයේ ප්‍රධාන වගකීම වේ. මින් ඉදිරියට හදිසි වෛද්‍ය ප්‍රතිකාර මාර්ගෝපදේශ සකස් කිරීම, රෝගීන් යොමු කිරීමේ ක්‍රමවේද විධිමත් කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ධාරිතාව වර්ධනය කිරීම මෙමගින් වඩාත් කාර්යක්ෂමව සිදු කිරීමට අපේක්ෂිතය. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව ක්‍රියාත්මක වීමත් සමඟ හදිසි අනතුරකට ලක්වන රෝගියෙකුට ලැබෙන ප්‍රතිකාරවල වේගය සහ ගුණාත්මකභාවය ඉහළ යනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.














