පසුගියදා දිවයිනට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබාදීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා අද (අප්‍රේල් 08) පාර්ලිමේන්තුවේදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කුණාටුවෙන් හානි වූ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සඳහා රජය විසින් මේ වන විටත් සැලකිය යුතු වන්දි ප්‍රමාණයක් ගෙවා අවසන් කර ඇති බවයි. විශේෂයෙන්ම මහනුවර සහ අනුරාධපුරය වැනි ප්‍රදේශවල පූර්ණ නිවාස හානි වූ පුද්ගලයන් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන වන්දි මුදලේ ප්‍රථම වාරික නිදහස් කිරීමේ කටයුතු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු කෙරෙන බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
වන්දි ලබාදීමේදී පවතින ප්‍රමාදයන් පිළිබඳව විපක්ෂය මතු කළ කරුණුවලට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහණ කළේ, හානි වූ නිවාස 6,000කට ආසන්න ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු මේ වන විට තහවුරු කරගෙන ඇති බවයි. අර්ධ හානි වූ නිවාස 1,600කට අධික ප්‍රමාණයකට දැනටමත් වන්දි ලබා දී ඇති අතර, සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට සිය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 බැගින් වන මූල්‍ය ප්‍රදානයන් ද සිදු කරමින් පවතින බව ඔහු පැවසීය. නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා විකල්ප ඉඩම් ලබා දීමේ “Rebuilding Sri Lanka” වැඩපිළිවෙල ද කිසිදු දේශපාලන භේදයකින් තොරව විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක වන බව අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.













