දිවයින පුරා ප්‍රකාශයට පත් කර තිබූ මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමනායක මහතා විසින් මීට අදාළ විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් රට තුළ ඇති වූ ආපදා තත්ත්වය සහ ඉන් පසුව ඇති වූ අසීරු කාලගුණික වටපිටාව සැලකිල්ලට ගනිමින්, මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ. විශේෂයෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවාවන් කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ මූලික අරමුණ වී ඇත.
මෙම හදිසි නීති රෙගුලාසි දීර්ඝ කිරීමත් සමඟ, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, පළාත් පාලන ආයතන සහ සමූපාකාර සමිති මඟින් සපයනු ලබන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ද යළි දීර්ඝ කර තිබේ. ඒ අනුව විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් ඇතුළු ඉන්ධන බෙදාහැරීම, සෞඛ්‍ය සේවාවට අදාළ සියලු කටයුතු මෙන්ම පොදු ගමනාගමන සේවාවන් ද අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් වේ. මෙම සේවාවන්ට බාධා වන අයුරින් කටයුතු කිරීම හෝ සේවයට වාර්තා නොකිරීම වරදක් වන අතර, පවතින ආපදා තත්ත්වය හමුවේ ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට මෙමඟින් නීතිමය ආවරණයක් සපයයි.














