මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සහ පුරවැසියන්ගේ සුභසාධනය සුරක්ෂිත කිරීම සඳහා පත්කළ “ආර්ථික අවේක්ෂණ කමිටුව” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම, නාවික සැපයුම් ජාලයන්හි ඇති වී තිබෙන බාධා සහ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවලට එල්ල වී ඇති අභියෝග හමුවේ මෙරට ආර්ථිකයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම ඉන්ධන සහ ගෑස් මිල පාලනය කරමින් වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමට ගත යුතු කඩිනම් පියවර කෙරෙහි ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය.
මෙම අවස්ථාවට මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ආර්ථික, බලශක්ති, වරාය සහ සංචාරක ක්ෂේත්‍රවල ප්‍රධානීන් රැසක් එක්ව සිටියහ. බාහිර බලපෑම් හමුවේ වුවද අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයුම බාධාවකින් තොරව පවත්වාගෙන යාමටත්, අපනයන ආදායම් සුරක්ෂිත කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් මෙහිදී අදාළ නිලධාරීන් වෙත ලබා දෙන ලදී.














