මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වන බලපෑම සුළි කුණාටුවකින් සිදුවන විනාශයටත් වඩා දරුණු විය හැකි බවට ආර්ථික විද්වතුන් අනතුරු අඟවයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවකදී විද්වතුන් පෙන්වා දුන්නේ, මෙම ගෝලීය අර්බුදය හමුවේ මෙරට වෙළඳපොළේ පවතින සෑම භාණ්ඩයකම මිල ඉදිරියේදී ඉහළ යාමේ අවදානමක් පවතින බවයි.
විශේෂයෙන්ම ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් දාමයන්ට එල්ල වන බාධා හේතුවෙන් මෙරට ආනයන වියදම් ඉහළ යාම මෙලෙස භාණ්ඩ මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන තිබේ. Fitch Ratings ආයතනය පවා පෙන්වා දෙන්නේ තෙල් මිල ඉහළ යාම හමුවේ ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ තර්ජනයක් පවතින බවයි. මෙම තත්ත්වය හමුවේ දේශීය පාරිභෝගිකයාට දැඩි ජීවන වියදම් බරකට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, ඒ සඳහා පෙර සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය බවත් ආර්ථික විශේෂඥයෝ වැඩිදුරටත් අවධාරණය කරති.














