අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කොට්ඨාසවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සමඟ පැවති සාකච්ඡාවකදී අවධාරණය කළේ පාසල් තුළ පවත්වන උත්සව කිසිසේත්ම දෙමව්පියන්ට බරක් නොවන අයුරින් සංවිධානය කළ යුතු බවයි. විශේෂයෙන්ම 2026 වසර වන විට සෑම පාසලකටම ස්මාර්ට් බෝඩ් සහ අන්තර්ජාල පහසුකම් ලබාදීමට රජය පියවර ගන්නා බැවින් ඒ සඳහා දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීම සපුරා තහනම් බව ඇය පවසා සිටියාය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වමින් අගමැතිනිය සඳහන් කළේ 2027 වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව ක්‍රමවේද හඳුන්වා දෙන බවත් පන්ති කාමරයක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රාථමික අංශයේ 30කටත් ද්විතීයික අංශයේ 35කටත් සීමා කිරීමට සැලසුම් කර ඇති බවත්ය. පාසල් සංවර්ධනය සඳහා 2025 සහ 2026 වසරවල වෙන් කළ මුදල් නිසි පරිදි ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ගුරු සේවයේ පවතින පුරප්පාඩු 23,000ක් පිරවීම සඳහා වන විභාග ලබන අප්‍රේල් හෝ මැයි මාසවලදී පවත්වන බවත් ඇය මෙහිදී අනාවරණය කළාය.
ගුරු පත්වීම් සහ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය කියා සිටියේ දේශපාලන මැදිහත් වීම් මත ස්ථාන මාරු ලබා ගැනීමට උත්සාහ නොකර ලැබෙන පත්වීම භාරගෙන සේවය කිරීම ගෞරවාන්විත වෘත්තියක වගකීමක් බවයි. එමෙන්ම පාසල්වල පවතින සනීපාරක්ෂක හා යටිතල පහසුකම් පිළිබඳ ගැටලු මධ්‍යම රජයේ උපදෙස් ලැබෙන තෙක් බලා නොසිට පළාත් සහ කොට්ඨාස මට්ටමින් කඩිනමින් විසඳීමට පියවර ගත යුතු බවට ද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.














