පාසල් තුළ සිසුන්ගේ විනය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. මෙම චක්‍රලේඛය සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය හෝ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මෙන්ම සියලුම පරිවේනාධිපතිවරුන් සහ විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පාසල තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධව මීට පෙර 2016 අප්‍රේල් 29 දින නිකුත් කරන ලද චක්‍රලේඛයේ උපදෙස්වලට අමතරව මෙම නව චක්‍රලේඛයේ විධිවිධානද මින් ඉදිරියට අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවයි.
විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක ඡේදයක්ද මෙහි උපුටා දක්වා තිබේ. ඒ අනුව කිසිදු දරුවෙකුට දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් කිසිදු හේතුවක් මත ශාරීරික හෝ මානසික හානියක් සිදු නොකළ යුතුය. කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු කිරීම සපුරා තහනම් වන අතර මෙම නියෝග උල්ලංඝනය කරමින් කටයුතු කරන වැරදිකරුවන්ට එරෙහිව නීතියෙන් දැඩි දඬුවම් හිමි වන බව එහි දැක්වේ. පාසල් සිසුන්ගේ විනය පවත්වාගෙන යාමේදී මෙම කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල් ප්‍රධානීන්ට සහ ගුරු භවතුන්ට අවධාරණය කර සිටියි.














