අධ්‍යාපන පද්ධතියේ පවතින මානව සම්පත් ඌනතාවය විසඳීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු අනු කාරක සභාව, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනෙවියගේ සභාපතිත්වයෙන් පසුගියදා (අප්‍රේල් 09) පාර්ලිමේන්තුවේදී රැස් විය. පාසල් පද්ධතියේ පවතින ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගැනීම සඳහා විධිමත් වාර්තාවක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත් කළ විශේෂ කමිටුවේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇත. පාසල්වල පවතින පුරප්පාඩු හඳුනා ගැනීම සහ ඒවා කඩිනමින් පිරවීම සඳහා අනුගමනය කළ යුතු විද්‍යාත්මක ක්‍රමවේද ඇතුළත් වාර්තාවක් සකස් කිරීම කෙරෙහි අනු කාරක සභාවේ අවධානය යොමු විය.
මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන මධුර සෙනෙවිරත්න, මහින්ද ජයසිංහ යන මහත්වරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මයිල්වාගනම් ජෙගදීස්වරන්, සුගත් වසන්ත ද සිල්වා සහ පද්මසිරි බණ්ඩාර යන මහත්වරුන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට නම් මානව සම්පත් නිසි ලෙස කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව මෙහිදී අවධාරණය කෙරිණි.














