ශ්‍රී ලංකාවට අයත් සුවිශේෂී ආර්ථික කලාපය (EEZ) තුළදී ඇමෙරිකානු සබ්මැරීනයක් විසින් ඉරාන නෞකාවක් ගිල්වා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය පවත්වාගෙන යන නිහඬතාවය එක්සත් ජාතික පක්ෂය (UNP) දැඩි ලෙස ප්‍රශ්න කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය කියා සිටින්නේ, කොළඹ ආරක්ෂක සමුළුවේ (Colombo Security Conclave) එකඟතාවලට ද යටත් වන මෙවැනි මුහුදු සීමාවක මෙවැනි මිලිටරි ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර ඇමෙරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජය දැනුවත් කළේ ද යන්න වහාම රටට හෙළි කළ යුතු බවයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරය යුද කලාපයක් බවට පත්වෙමින් පවතින බවත්, එය මෙරට වාණිජ කටයුතුවලට අහිතකර ලෙස බලපාන බවත් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. විශේෂයෙන්ම නැව් ගාස්තු සහ රක්ෂණ පිරිවැය ඉහළ යාම හරහා රටේ ජීවන වියදම ඉහළ යාමට මෙය සෘජුවම බලපාන බව ඔවුන් අවධාරණය කරයි. මෙවැනි හමුදා ක්‍රියාමාර්ග මෙරට මුහුදු සීමාව ආසන්නයේ යළි සිදු නොකරන බවට ඇමෙරිකාවෙන් සහතිකයක් ලබා ගැනීමට රජය වහාම කටයුතු කළ යුතු බව ද එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ ඇති විය හැකි ආර්ථික බලපෑම් පිළිබඳව අදාළ නැව් සමාගම් සහ රක්ෂණ බලධාරීන් සමඟ කඩිනමින් සාකච්ඡා කරන ලෙස ද එක්සත් ජාතික පක්ෂය රජයෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් වන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතු බව ඔවුන් වැඩිදුරටත් කියා සිටියි.














