ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිහිටි දීමනාව ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය තීරණය කර ඇති අතර ඒ අනුව මින් ඉදිරියට සියලුම වැඩිහිටි දීමනා ගෙවීම් බැංකු ගිණුම් ඔස්සේ පමණක් සිදු කිරීමට නියමිතය. ජාතික හැඳුනුම්පත් නොමැති වීම හේතුවෙන් බැංකු ගිණුම් ආරම්භ කිරීමට අපහසුතා ඇති වැඩිහිටියන් සිටී නම් ඔවුන් වහාම තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි විෂය භාර නිලධාරියා හමුවී ඒ පිළිබඳ අවශ්‍ය විස්තර සහ උපදෙස් ලබාගත යුතු බව එම කාර්යාලය දැනුම් දෙයි.
දැනටමත් බැංකු ගිණුම් මගින් වැඩිහිටි දීමනාව ලබාගන්නා පුද්ගලයින්ගේ ගිණුම් වෙත මාර්තු මාසයට අදාළ මුදල් මේ වන විටත් බැර කර අවසන්ව ඇත. කෙසේ වෙතත් තැපැල් හා උප තැපැල් කාර්යාල මගින් තවමත් දීමනාව ලබාගන්නා ප්‍රතිලාභීන් සඳහා මෙම අප්‍රේල් මාසයට අදාළ දීමනාව අප්‍රේල් 9, 10 සහ 11 යන දිනවලදී ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙයට අමතරව තවත් විශේෂ තීරණයක් ගනිමින් අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් වෙනුවෙන් රුපියල් 5,000 ක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ද රජය පියවර ගෙන ඇත.














