එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ දිවයින පුරා පැවැත්වෙන අවුරුදු උත්සව සහ විවිධ සංස්කෘතික වැඩසටහන් සඳහා අවශ්‍ය විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ උත්සව සංවිධායකවරුන්ට විදුලිබල මණ්ඩලය වෙත නියමිත ගෙවීම් සිදු කිරීමෙන් අනතුරුව මෙම පහසුකම ලබාගත හැකි බවයි.
විශේෂයෙන්ම අප්‍රේල් මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ පැවැත්වෙන අවුරුදු උත්සව සහ සංගීත ප්‍රසංග සඳහා මෙම විශේෂ විදුලි සබඳතා ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත. උත්සව සමයේ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමේ වැදගත්කම පෙන්වා දුන් අමාත්‍යවරයා, ජනතාවගේ සතුට වෙනුවෙන් සංවිධානය කෙරෙන මෙවැනි උත්සව සඳහා බාධාවකින් තොරව විදුලිය සැපයීම රජයේ අරමුණ බව ද අවධාරණය කළේය. ඒ අනුව ප්‍රදේශයේ විදුලි ඉංජිනේරු කාර්යාල වෙත ගෙවීම් සිදු කර මෙම තාවකාලික විදුලි සබඳතා ලබා ගැනීමට සංවිධායකවරුන්ට දැන් හැකියාව පවතී.














