පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජලවිදුලි උත්පාදනය අඩාල වී ඇති බැවින්, විදුලිය නිපදවීම සඳහා ඛනිජ තෙල් මත වැඩිපුර යැපීමට සිදුව ඇති බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අද (24) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ගෝලීය යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල සහනදායී මට්ටමකට පත්වීමට තවත් කල්ගත වනු ඇති බැවින්, ජනතාව විදුලිය භාවිතයේදී උපරිම අරපිරිමැස්මක් අනුගමනය කළ යුතු බවයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී රෙදි සෝදන යන්ත්‍ර (Washing Machines) වැනි විදුලිය වැඩිපුර වැයවන උපකරණ භාවිත කිරීම සීමා කරන ලෙසත්, දින කිහිපයක රෙදි එකවර සේදීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් තෙල් නිෂ්පාදනය කරන රටවල යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බවත්, එම ගැටුම් අවසන් වුවද ඉන්ධන මිල වහාම පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මේ නිසා විදුලිය උත්පාදනය සඳහා වැයවන ඩීසල් ප්‍රමාණය අවම කර ගැනීම අත්‍යවශ්‍ය වී තිබේ. නිවෙස්වල සහ නගරවල අනවශ්‍ය ලෙස දල්වා ඇති විදුලි පහන් නිවා දැමීමට කටයුතු කිරීමෙන් ඉතිරි කරගන්නා ඉන්ධන තොග, ජනතාවගේ පොදු ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීමට යෙදවීමට රජයට වැඩි අවස්ථාවක් ලැබෙන බව ද හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














