2025 දෙසැම්බර් මාසයේ නිකුත් වූ නවතම දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි පාරිභෝගිකයින් සංඛ්‍යාව 7,184,604ක් හෙවත් ලක්ෂ 71 ඉක්මවා තිබේ. මෙහි ඇති විශේෂත්වය වන්නේ සමස්ත පාරිභෝගිකයින්ගෙන් 67.5%ක්ම, එනම් ලක්ෂ 48කට අධික පිරිසක් (4,847,199) මාසිකව විදුලි ඒකක 0ත් 90ත් අතර භාවිත කරන ගෘහස්ථ කාණ්ඩයට අයත් වීමයි.
එම වාර්තාවට අනුව වැඩිම පාරිභෝගික පිරිසක් වාර්තා වන්නේ ඒකක 0-30ත් අතර භාවිත කරන කාණ්ඩයෙන් වන අතර, එම සංඛ්‍යාව ලක්ෂ 18කට අධිකය. මෙම විශාල පාරිභෝගික පිරිස මෙරට සමස්ත පාරිභෝගිකයින්ගෙන් තුනෙන් දෙකකට ආසන්න වුවද, ඔවුන්ගේ සමස්ත විදුලි පරිභෝජනය රටේ සමස්ත පරිභෝජනයෙන් නියෝජනය කරන්නේ 17.7%ක (ගිගාවොට් පැය 202.28) කුඩා ප්‍රතිශතයකි. මෙරට සමස්ත විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 1,144.12ක් ලෙස සටහන් වේ. මෙම දත්ත මඟින් පැහැදිලි වන්නේ මෙරට සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින් බහුතරයකගේ විදුලි පරිභෝජනය ඉතා අවම මට්ටමක පවතින බවයි.














