බලශක්ති උත්පාදනය සඳහා වැයවන අමතර පිරිවැය පාරිභෝගිකයාගේ විදුලි බිලට එකතු නොකිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම සහ පවතින වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අඩුවීම නිසා තාප බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවීමෙන් පිරිවැය ඉහළ ගොස් ඇතත්, එම බර ජනතාව මත නොපටවන බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
විශේෂයෙන්ම ප්රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය හේතුවෙන් ජනන පද්ධතියට ඇතිවූ බලපෑම සහ ඒ වෙනුවට ඩීසල් බලාගාර ක්රියාත්මක කිරීමට සිදුවීමෙන් ඇතිවූ පිරිවැය පාරිභෝගිකයාගෙන් අය නොකරන බව ඔහු තහවුරු කළේය. මෙම අතිරේක පිරිවැය පියවා ගැනීම සඳහා රජය රුපියල් බිලියන 15ක මුදලක් වෙන් කර ඇති අතර, එම සහනය ඉදිරි විදුලි ගාස්තු සංශෝධනයේදී ඒකක 90ට අඩු පාරිභෝගිකයින්ට සෘජුවම හිමිවනු ඇත. විදුලි බල මණ්ඩලයේ පාඩුව ජනතාව මත පැටවීමේ පැරණි ක්රමය වෙනුවට රජය මැදිහත් වී පීඩාවට පත් ජනතාව ආරක්ෂා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.














