රජය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඉදිරියේදී ෆොටෝ කොපි (Photocopy) සහ පරිගණක මුද්‍රණ (Printouts) ගාස්තු ඉහළ යාමේ දැඩි අවදානමක් පවතින බව සේවා සපයන්නෝ පවසති.
නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ පොදු කාර්ය පාරිභෝගිකයින් සඳහා සියයට 8ක සහ කර්මාන්ත අංශය සඳහා සියයට 8.7ක මිල වැඩිවීමක් සිදු කර තිබේ. ෆොටෝ කොපි යන්ත්‍ර සහ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි විදුලි පිරිවැයක් දැරීමට සිදුවීමත්, ආනයනික ෆොටෝ කොපි කඩදාසි (A4 bundle), ටෝනර් (Toner) සහ තීන්ත වර්ගවල මිල ගණන් පවතින ආර්ථික වාතාවරණය හමුවේ ඉහළ මට්ටමක පැවතීමත් නිසා මෙලෙස එක් පිටුවක් සඳහා අය කරන මුදල ඉදිරියේදී සංශෝධනය කිරීමට සිදුවනු ඇතැයි වෙළඳසැල් හිමියෝ පෙන්වා දෙති.
මේ අතර, වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පරිගණක උපාංග සහ දත්ත ගබඩා කිරීමේ මෙවලම් වන පෙන් ඩ්‍රයිව් (Pen Drive) සහ මෙමරි කාඩ් (Memory Card) සඳහා පවතින මිල ගණන්වල මේ මොහොතේ ක්ෂණික ඉහළ යාමක් පෙන්නුම් නොකළ ද, ඉදිරියේදී ඇති විය හැකි සැපයුම් දාමයේ ප්‍රමාදයන් සහ ආනයන වියදම් මත ඒවායේ මිල ගණන් ද යම් වෙනස්කමකට භාජනය විය හැකි බවයි.
















