මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ මෙරට ආපනශාලාවල ආහාර පානවල මිල ගණන් යළිත් වරක් ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
මැදපෙරදිග යුදමය තත්ත්වය සහ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රජය විසින් සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි. මෙම තත්ත්වය යටතේ විශේෂයෙන්ම හෝටල් සහ කර්මාන්ත අංශ සඳහා පිළිවෙළින් සියයට 9.9ක සහ සියයට 8.7ක බරපතළ විදුලි ගාස්තු වැඩිවීමක් සිදුවී ඇති අතර, එය ආපනශාලාවල දෛනික මෙහෙයුම් පිරිවැය දැඩි ලෙස ඉහළ නැංවීමට හේතු වී තිබේ.
විදුලි බිල ඉහළ යාමට අමතරව ආනයනික අමුද්‍රව්‍ය මිල ගණන් ද ඉහළ යමින් පවතින බැවින්, තම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මෙලෙස ආහාර පානවල මිල ගණන් සංශෝධනය කිරීමට සිදුවන බව ආපනශාලා හිමියෝ පෙන්වා දෙති. මේ හේතුවෙන් එදිනෙදා ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වන අතර පාරිභෝගික ජනතාව මේ පිළිබඳව දැඩි නොසන්සුන්තාවයකින් පසුවෙති.
















