මෙරට බලශක්ති ආර්ථිකය තිරසර ලෙස සංවර්ධනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික ආර්ථිකයේ වර්ධනය සඳහා බලශක්ති ක්ෂේත්‍රය ප්‍රමුඛ සාධකයක් වුවද, ප්‍රධාන ආර්ථික අංශ අතර පවතින ඒකාබද්ධතාවයේ දුර්වලතා හේතුවෙන් එම ක්ෂේත්‍රයේ ආයෝජන දිරිමත් කිරීම සඳහා නව ප්‍රවේශයක අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත.
තිරසර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා ඒකාබද්ධ ආර්ථික සංවර්ධන රාමුවක අවශ්‍යතාව ජනාධිපතිවරයා විසින් 2026 අයවැය මගින් ද අවධාරණය කර තිබුණි. ඒ අනුව ජාතික ප්‍රතිපත්ති සහ උපායමාර්ගික රාමු එකිනෙකට අනුකූල වන පරිදි සකස් කිරීම සඳහා ආචාර්ය හාන්ස් විජේසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම විශේෂඥ කමිටුව පත් කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය ලැබී ඇත.
මෙම කමිටුව හරහා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින බාධා ඉවත් කිරීම සහ අනාගත බලශක්ති අවශ්‍යතා පුරෝකථනය කරමින් ක්‍රියාවට නැංවිය හැකි නව්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට නියමිතය. මෙය මෙරට බලශක්ති සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමේ තීරණාත්මක පියවරක් වනු ඇතැයි රජය අපේක්ෂා කරයි.















