මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුම් ජාල බිඳ වැටීම සහ ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ලෝක ඉන්ධන වෙළෙඳපොළ තුළ ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි මිල උච්චාවචනයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු වූ අතර, විශේෂයෙන්ම 2025 වසරේදී මෙරට ලබාගත් ආර්ථික ජයග්‍රහණ තිරසාරව ඉදිරියට ගෙන යාම සඳහා බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී.
උද්ගතව ඇති මෙම අර්බුදය හමුවේ මෙරට ආර්ථික හැකිළීම අවම වන පරිදි මිල කළමනාකරණය කිරීමට ගත හැකි විවිධ පියවර පිළිබඳව සාකච්ඡා වූ අතර, එහිදී ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමේ හැකියාව කඩිනමින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ගෝලීය ඉන්ධන මිල ඉහළ යාම දේශීය වෙළෙඳපොළට සෘජුවම බලපෑම් කළහොත්, ඉන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා රජය මැදිහත් විය යුතු ආකාරය පිළිබඳව ද මෙහිදී විධිමත් සැලසුම් සකස් කෙරිණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, මහබැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු ඉහළ පෙළේ ආර්ථික විශේෂඥයින් පිරිසක් සහභාගී වී සිටියහ. ලෝක වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාවය හමුවේ මෙරට විදේශ විනිමය සංචිත කළමනාකරණය කරමින් ඉන්ධන ආනයනය අඛණ්ඩව සිදු කිරීමේ මූල්‍යමය උපාය මාර්ග පිළිබඳව ද මෙහිදී එකඟතාවන්ට පැමිණ තිබේ.














