මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳව අද (03) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර දැඩි මත ගැටුමක් ඇති විය. විශේෂයෙන්ම නොරොච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු ගෙන්වීම සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි භාවිතය සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශවය කරුණු හුවමාරු කර ගත්හ.
සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ප්‍රශ්න කළේ, බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි උත්පාදනය කිලෝ වොට් 900 සිට 600 දක්වා අඩු වී ඇති පසුබිමක, එම අඩුව පිරවීමට අවශ්‍ය තෙල් මැදපෙරදිග අර්බුදය හමුවේ ලබා ගන්නේ කෙසේද යන්නයි. තෙල් සැපයුම අඩාල වුවහොත් රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් නිර්මාණය වනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය. එමෙන්ම, බලයට පත්වීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පෙන්වමින් කළ කතා දැන් ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ “මේ මහත්වරු එදා තෙල් ටැංකිවලට බැහැලා කැරකුණා” යැයි පවසමිනි.
මෙම ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු දෙමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කියා සිටියේ මෙරට තෙල් සංචිත උපරිම මට්ටමින් පවතින බැවින් කිසිදු අර්බුදයක් මතු නොවන බවයි. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ටැංකි 24ක් අලුත්වැඩියා කිරීමේ සහ නල මාර්ග පද්ධතිය සකස් කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. පසුගිය රජයන් විසින් පවතින ටැංකි විකුණා දැමූ බවට චෝදනා කළ අමාත්‍යවරයා, වත්මන් රජය අලුතින් තෙල් ටැංකි 9ක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බව ද අවධාරණය කළේය.














