ශ්‍රී ලංකා පරිසර වෘත්තිකයන්ගේ ආයතනයේ (IEPSL) 20 වැනි සංවත්සර සැමරුම් උළෙල අමතමින් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා ප්‍රකාශ කළේ, රටේ පවතින විද්‍යාත්මක පර්යේෂණ සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම අතර පවතින පරතරය අවම කිරීම රජයේ ප්‍රමුඛතාවක් බවයි. මෙම උත්සවය ඊයේ (12) කොළඹ ගාලු මුවදොර හෝටල් පරිශ්‍රයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.
දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය විනාශ වීම සහ නිරන්තරයෙන් ඇතිවන ගංවතුර, නියඟය වැනි අභියෝග ජය ගැනීමට නම් විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ සැලසුම්කරුවන්ගේ සක්‍රීය දායකත්වය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම මෙන්ම පාරිසරික බලපෑම් ඇගයීමේ (EIA) ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් යුතුව නවීකරණය කිරීමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
නව රජයේ පාරිසරික සංරක්ෂණ වැඩපිළිවෙළ සඳහා ඕනෑම පර්යේෂකයෙකුට හෝ විද්වතෙකුට විද්‍යාත්මක පදනමකින් යුත් අදහස් ඉදිරිපත් කළ හැකි බවත්, එම දැනුම ජාතික සංවර්ධන සැලසුම්වලට ඇතුළත් කර ගැනීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාරිසරික වශයෙන් වගකිව යුතු ආයෝජන දිරිමත් කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.














