ශ්‍රී ලංකාවේ පවතින විදුලි හිඟයට විදුලි වාහන (EV) වගකවයුතු බවට පැතිර යන ප්‍රචාරයන් දත්ත හෝ බලශක්ති විද්‍යාව මගින් තහවුරු කළ නොහැකි පදනම් විරහිත ප්‍රකාශ බව බලශක්ති විශේෂඥ වෛද්‍ය විදුර රලපනාව මහතා පවසයි. මෑතකදී පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ඉන්ධන වාහනවලට වඩා විදුලි වාහන ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුක්ත බවයි.
සාම්ප්‍රදායික ඉන්ධන වාහනයක් කිලෝමීටර් 100ක් ධාවනය කිරීමට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය තුළ ඇති ශක්තියෙන්, විදුලි වාහනයකට එම දුරම ධාවනය කිරීමට අවශ්‍ය විදුලියට වඩා වැඩි ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බව ඔහු පැහැදිලි කළේය. එබැවින් ගල් අඟුරු මගින් විදුලිය නිපදවා විදුලි වාහන ආරෝපණය කළද, එය ඉන්ධන වාහනයකට වඩා බලශක්ති කාර්යක්ෂමතාවයෙන් ඉහළ බව ඔහු අවධාරණය කළේය.
විදුලි වාහන ආරෝපණය කිරීම නිසා ජාතික පද්ධතියට මෙගාවොට් 250-300ක අමතර බරක් එක්වන බවට එල්ල වන චෝදනා ද වෛද්‍ය රලපනාව ප්‍රතික්ෂේප කළේය. 2024 සිට 2026 දක්වා දත්ත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ සෑම වසරකම ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ පවතින අධික උණුසුම නිසා වායුසමීකරණ (A/C) භාවිතය ඉහළ යාම හේතුවෙන් මෙම මෙගාවොට් 300ක පමණ ඉල්ලුම ඉහළ යන බවයි. මෙය විදුලි වාහන නිසා සිදුවන්නක් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.
ෆොසිල ඉන්ධන මත යැපීම දිගටම පවත්වාගෙන යාම සඳහා ඇතැම් පාර්ශවයන් මෙවැනි බියජනක මත සමාජගත කරන බවට චෝදනා කළ ඒ මහතා, විද්‍යාත්මක පදනමකින් යුතුව විදුලි වාහන ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට ආර්ථිකය ශක්තිමත් කරමින් ආනයනික ඉන්ධන මත යැපීම අඩු කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.














