ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා අපනයන ක්ෂේත්‍රය 2026 වසරේ මුල් මාස දෙක තුළ ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, 2026 පෙබරවාරි මාසයේදී පමණක් මෙරට මුළු අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් දක්වා ළඟා වී තිබේ. මෙය 2025 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 4.22ක වාර්ෂික වර්ධනයක් වන අතර, ගෝලීය වෙළෙඳපොළේ පවතින අභියෝග මධ්‍යයේ වුවද මෙරට අපනයනකරුවන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්තවලට අනුව, 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙක තුළ සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.89ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 7.56ක කැපී පෙනෙන වර්ධනයකි. ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 317 සීමාව දක්වා ඉහළ යාමත් සමඟ අපනයනකරුවන්ට රුපියල්වලින් ලැබෙන ආදායම ඉහළ ගොස් ඇති අතර, ඇඟලුම්, තේ සහ තොරතුරු තාක්ෂණ සේවාවලින් ලැබෙන ඉපයීම් මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ.














