ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පූර්ණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලැබූ ප්‍රථම කඩදාසි රහිත (Paperless) නඩු විභාගය පසුගිය මාර්තු 26 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පවත්වන ලදී. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම ඓතිහාසික නඩු විභාගය පැවැත්වුණු අතර, විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන මහත්වරුන් සෙසු විනිසුරුවරුන් ලෙස කටයුතු කළහ. සම්ප්‍රදායික ලිපිගොනු වෙනුවට පරිගණක පද්ධතියක් මඟින් නඩු වාර්තා පරීක්ෂා කිරීම මෙහි විශේෂත්වය වූ අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුවක් මෙලෙස විභාගයට ගන්නා ලදී.
මෙම “e-Court” ව්‍යාපෘතිය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ මූලිකත්වයෙන් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහයෝගයෙන් දේශීයව නිර්මාණය කරන ලද්දකි. මෙහිදී චෝදනා පත්‍රය කියවීමෙන් අනතුරුව එය ඩිජිටල් අත්සනින් (Digital Signature) යුතුව පද්ධතියට මුදාහැරීම සිදුකළ අතර, අදාළ පාර්ශවයන්ට ඒ මොහොතේම ලිපිගොනු වෙත ප්‍රවේශ වීමට අවස්ථාව හිමි විය. 2026 පෙබරවාරි 10 වැනිදා නිල වශයෙන් ආරම්භ කරන ලද මෙම ඩිජිටල් ගොනු කිරීමේ පද්ධතිය (e-filing) හරහා මේ වන විටත් නීතිඥවරුන් විශාල පිරිසක් නඩු පවරමින් සිටින අතර, එමඟින් ලිපිද්‍රව්‍ය සඳහා වැයවන විශාල පිරිවැය ඉතිරි කර ගැනීමටත් විදේශ විනිමය සුරක්ෂිත කිරීමටත් හැකිවනු ඇතැයි අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි. ඉදිරියේදී මෙම ක්‍රමය දිවයින පුරා පිහිටි සියලුම අධිකරණ වෙත ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.














