ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඉරාන යුද නෞකාවක් ප්‍රහාරයට ලක්වීමේ සිදුවීමත් සමඟ මෙරට ධීවර ප්‍රජාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ. ජාත්‍යන්තර මුහුදේ සිටින බහුදින ධීවර යාත්‍රාවලට මෙතෙක් සෘජු බලපෑමක් එල්ල වී නොමැති වුවද පවතින අවදානම් සහගත තත්ත්වය සලකා ධීවරයන් සැමවිටම තමන් සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත විය යුතු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන හෝ ආගන්තුක කිසිදු යාත්‍රාවක් ආසන්නයට යෑමෙන් වළකින ලෙසත් සුපුරුදු ගමන් මාර්ග පමණක් භාවිත කරමින් ධීවර කටයුතු අවසන් වූ වහාම ගොඩබිමට පැමිණෙන ලෙසත් ධීවරයින්ට දැනුම් දී ඇත. හදිසි අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා යාත්‍රා නිරීක්ෂණ මධ්‍යස්ථානය හෝ ගොඩබිම ගුවන්විදුලි මධ්‍යස්ථාන පැය 24 පුරාම ක්‍රියාත්මකව පවතින බව ද මෙහිදී සඳහන් කෙරිණි.
මේ අතර පවතින ගුවන් ගමන් අවහිරතා හේතුවෙන් සිය රටවලට යාමට නොහැකිව මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයින් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ආයතනය විශේෂ සහන වැඩපිළිවෙලක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව ඔවුන්ට දින 14ක නොමිලේ වීසා දිගුවක් සහ එම කාලය තුළ දිවා ආහාරය නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇති අතර පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි ඇමතුම් සේවාවක් ද හඳුන්වා දී ඇත. මෙම පියවරයන් හරහා පවතින ගෝලීය අර්බුදය හමුවේ වුවද මෙරට වෘත්තිකයන්ගේ සහ මෙරටට පැමිණ සිටින විදේශිකයන්ගේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය තහවුරු කිරීමට රජය උපරිම මැදිහත්වීමක් සිදු කරයි.













