ගල්ෆ් කලාපය ආසන්නයේ හටගෙන ඇති උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුව විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ධීවර දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධීවර ප්‍රජාව වඩාත් විමසිලිමත් විය යුතු බවයි.
ඒ අනුව ධීවරයින් සෑමවිටම සාම්ප්‍රදායිකව මසුන් අල්ලන ප්‍රදේශවල පමණක් රැකියාවේ නිරත විය යුතු අතර යුදමය කටයුතුවලට සම්බන්ධ බවට සැකකෙරෙන හෝ වෙනත් ආගන්තුක නෞකා සහ යාත්‍රා අසලට නොයන ලෙස දැනුම් දී ඇත. එමෙන්ම මුහුදේදී වෙනත් යාත්‍රා සමඟ භාණ්ඩ හුවමාරු කිරීම් හෝ කිසිදු ආකාරයක ගනුදෙනු සිදු කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතු බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ධීවර රැකියාව සඳහා පිටත්ව යාමේදී සහ ආපසු පැමිණීමේදී සාමාන්‍යයෙන් භාවිතා කරන සුපුරුදු ආරක්ෂිත ගමන් මාර්ග ඔස්සේ පමණක් ගමන් කරන ලෙසට ධීවර ප්‍රජාවට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත් පවතින ජාත්‍යන්තර නොසන්සුන්තාවය හේතුවෙන් මෙතෙක් මෙරට කිසිදු ධීවර යාත්‍රාවකට බලපෑමක් එල්ල වී නොමැති බව ද ධීවර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.














