පසුගිය වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික හා ස්වාභාවික ව්‍යසනයන් හේතුවෙන් මෙරට ආහාර සුරක්ෂිතතාවය දැඩි ලෙස පළුදු වී ඇති බව ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය (IFPRI) පෙන්වා දෙයි. ඔවුන්ගේ නවතම අධ්‍යයනයට අනුව, 2019 සිට 2025 දක්වා කාලය තුළ ආහාර අනාරක්ෂිතභාවය පස් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, මූල්‍ය දරිද්‍රතාවය තෙගුණයකින් ඉහළ ගොස් තිබේ. මෙම තත්ත්වය හමුවේ මෙරට ලක්ෂ 20කට අධික ජනතාවක් නිවාස, වගාබිම් සහ මූලික යටිතල පහසුකම් අහිමි වීමෙන් පීඩාවට පත්ව සිටිති.
ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතනය (IWMI) සහ IFPRI එක්ව සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ශ්‍රී ලාංකිකයන්ගෙන් 18%ක් මූල්‍යමය වශයෙන් දිළිඳු මට්ටමේ පසුවන අතර, බහුවිධ දරිද්‍රතාවයෙන් (අඩු ජීවන තත්ත්වයන්, සීමිත අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැටලු) පීඩා විඳින පවුල් සංඛ්‍යාව 25%ක් තරම් ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම මෑතකදී බලපෑ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුව නිසා මෙම අවදානම තවදුරටත් උග්‍ර වී ඇති අතර, නිවාස ඒකකවලින් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් ණය බරින් මිරිකී සිටින බව වාර්තා වේ.
මෙම වාර්තාවේ දැක්වෙන තවත් සුවිශේෂී කරුණක් වන්නේ ජල අනාරක්ෂිතභාවයයි. ජාතික මට්ටමින් ජල ගැටලුව අඩු බව පෙනුනද, ප්‍රාදේශීය වශයෙන් බලන විට ඌව පළාතේ පවුල්වලින් 24%ක් ජල අනාරක්ෂිතභාවයෙන් පීඩා විඳිති. මෙය උතුරු පළාත මෙන් දෙගුණයක් වන අතර අවම බලපෑමක් ඇති පළාත් මෙන් හය ගුණයක ඉහළ අගයකි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සහ බලශක්ති මිල ඉහළ යාම, මෙම දිළිඳු පවුල්වල දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට ඇති හැකියාව තවදුරටත් සීමා කර තිබේ.














