මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුමට සහ ආහාර සුරක්ෂිතතාවට එල්ල විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව ඊයේ (06) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් විය. අමාත්‍යවරුන් වන කේ.ඩී. ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී, එළැඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සංචිතයක් පවත්වාගෙන යාම සහ මිල පාලනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි. යුදමය වාතාවරණය හමුවේ සැපයුම් දාම අඩාල වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් ජනතාවට සහන සැලසීම මෙහි මූලික අරමුණ වී තිබේ.
මෙහිදී ගනු ලැබූ තීරණාත්මක පියවරක් ලෙස, දේශීය ආහාර නිෂ්පාදනය සහ ධීවර ක්ෂේත්‍රය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් ලබා දී ඇත. එසේම, විදේශ රටවල් විසින් පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය අපනයනය සීමා කරනු ලැබුවහොත් පැන නගින අර්බුද කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ද මෙහිදී දීර්ඝව සාකච්ඡා විය. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්වූ මෙම රැස්වීමේදී අවධාරණය කෙරුණේ ජාත්‍යන්තර අර්බුද හමුවේ වුවද මෙරට ආහාර පද්ධතිය සුරක්ෂිත කිරීමට උපරිම පියවර ගන්නා බවයි.
















