ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ වුවද, මෙරට ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් ඇතිවීමේ අවදානමක් දැනට නොමැති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කරයි. පාරිභෝගිකයින් තුළ පවතින අනියත බිය දුරු කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ දේශීය වෙළඳපොළේ පවතින ආහාර තොග පිළිබඳව නිරන්තර විමර්ශනයක පසුවන බවයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේ, ඉදිරි මාසයක පමණ කාලයක් සඳහා සරිලන පරිදි අවශ්‍ය ආනයනික ආහාර තොග මේ වන විටත් මෙරට වෙළඳපොළ තුළ පවතින බවයි. එබැවින් ගෝලීය තත්ත්වයන් මත පදනම්ව අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය රැස් කර තබා ගැනීමට කලබල නොවන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. පවතින තොග නිසි පරිදි කළමනාකරණය කරමින් පාරිභෝගිකයාට අඛණ්ඩව භාණ්ඩ ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














