විදේශ රැකියා ලබාදෙන බව පවසා සිදුකළ වංචනික ක්‍රියාවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගනිමින්, පසුගිය මාස 5ක කාලය තුළ වින්දිතයින්ට රුපියල් ලක්ෂ 1945කට අධික මුදලක් යළි අයකර දීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමත්ව තිබේ. 2025 ඔක්තෝබර් සිට 2026 පෙබරවාරි දක්වා කාලය තුළ මෙම ප්‍රගතිය අත්කරගෙන ඇත.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ මඟපෙන්වීම යටතේ ස්ථාපිත කළ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. එම කාලය තුළ විදේශ රැකියා වංචා සම්බන්ධයෙන් වාර්තා වූ වැදගත් දත්ත කිහිපයක් මෙසේය.
ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 2081ක් වන අතර අධිකරණයේ පවරා ඇති නඩු සංඛ්‍යාව 244කි. සිදුකර ඇති වැටලීම් ප්‍රමාණය 19ක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් සංඛ්‍යාව 88කි. මීට බලපත්‍රලාභී ආයතනවල පුද්ගලයින් තිදෙනෙකු ද ඇතුළත් වේ.
විශේෂයෙන්ම ඉශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය සහ රුමේනියාව වැනි රටවල රැකියා ලබාදෙන බව පවසා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන වංචා ඉහළ ගොස් ඇති බව කාර්යාංශය පෙන්වා දෙයි. එබැවින් නිසි තොරතුරු තහවුරු කරගැනීමෙන් තොරව කිසිදු පාර්ශවයකට මුදල් හෝ පෞද්ගලික ලේඛන ලබානොදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
යම් හෙයකින් එවැනි වංචාවකට හසු වී ඇත්නම් හෝ ඒ පිළිබඳ තොරතුරු දන්නේ නම්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2882228 හෝ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික ඇමතුම් අංකය වෙත දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.














