කලාපීය වශයෙන් වර්ධනය වෙමින් පවතින උණුසුම් යුදමය වාතාවරණය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඕමාන විදේශ අමාත්‍ය බද්ර් අල්බුසයිඩි (Badr Albusaidi) මහතා අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී කලාපයේ සාමය සහ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම අමාත්‍යවරයා නැවතත් අවධාරණය කළ බව සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවේදී විජිත හේරත් මහතා ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවට එරට රජය ලබා දෙන අඛණ්ඩ සහයෝගය අගය කළ අතර එහිදී ඕමාන විදේශ අමාත්‍යවරයා සහතික වූයේ ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය සහ යහපැවැත්ම වෙනුවෙන් ඕමාන රජය නිරතුරුවම කැපවී සිටින බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින අනාරක්ෂිත තත්ත්වය හමුවේ ඕමානය වැනි මිත්‍ර රටවල් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීම මෙරට විදේශ ප්‍රතිපත්තියේ මෙන්ම විදේශ රැකියා නියුක්තිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ.














