මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ ඉදිරි සැලසුම් පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් අද (2026 මාර්තු 26) විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු වූ කරුණු කිහිපයකි. එනම් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන සහ ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙන්ම විදේශගත ශ්‍රමිකයන් සමඟ පවතින සන්නිවේදනය වඩාත් විධිමත් කිරීමටත් ඔවුන්ගේ සුභසාධනය වෙනුවෙන් පවතින ප්‍රතිපත්ති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය විය. මීට අමතරව විදේශගත වන කාන්තාවන්ගේ පවුල් පසුබිම් වාර්තා (FBR) නිකුත් කිරීමේදී පවතින ප්‍රමාදයන් මඟහැරීම සඳහා නිශ්චිත කාල රාමුවක් සහිත විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද අවධානය යොමු විය.
මෙම ගැටලු අඛණ්ඩව නිරීක්ෂණය කරමින් විසඳුම් ලබා දීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී පියවර ගැනුණි. යුදමය තත්ත්වය හමුවේ වුවද විදේශ රැකියා ක්ෂේත්‍රය කඩා වැටීමට නොදී සුරක්ෂිතව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.












