ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ මෙරට තුළ ඉන්ධන කළුකඩ ව්‍යාපාර වැළැක්වීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් ආරම්භ කර තිබේ. බුද්ධි අංශ සහය ඇතිව සිදු කළ මෙම මෙහෙයුම්වලදී ඉකුත් 18 වැනිදා පමණක් නීතිවිරෝධී ලෙස සඟවා තිබූ ඩීසල් ලීටර් 4,742ක් සහ පෙට්‍රල් ලීටර් 874ක් සොයා ගැනීමට පොලීසිය සමත් විය.
බස්නාහිර, නැඟෙනහිර, උතුරු මැද සහ ඌව පළාත් කේන්ද්‍ර කරගනිමින් මෙම වැටලීම් සිදු කර ඇති අතර එහිදී වයස අවුරුදු 21ත් 73ත් අතර පසුවන සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. මීගමුව, කටුව ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ හිමිකරුවෙකුට අයත් ස්ථානයක තිබී ඩීසල් ලීටර් 3,532ක් අඩංගු බවුසර් රථයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
නැඟෙනහිර පළාතේ ශ්‍රී පුර ප්‍රදේශයෙන් පෙට්‍රල් ලීටර් 390ක් සහ ඩීසල් ලීටර් 200ක් ද, උතුරු මැද පළාතේ දියසෙන්පුර ප්‍රදේශයේ වෙළඳසැලකින් පෙට්‍රල් ලීටර් 604ක් ද සොයාගෙන ඇත. මීට අමතරව ඌව පළාතේ මොනරාගල, වඩිදුඹුර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පෙට්‍රල් ලීටර් 270ක් සහ ඩීසල් ලීටර් 630ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ඉන්ධන සැපයුමට බාධා එල්ල විය හැකි බවට පවතින බිය හේතුවෙන් මෙලෙස ඉන්ධන රැස් කිරීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවත්, එය වැළැක්වීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.














